(එච්. චන්දන සහ පද්මා කුමාරි)
නොරචෝලේ, පනිඅඩිය ප්‍රදේශයේ දී දෙදරු පියකු පැහැරගෙන ගොස් පහරදී වෙරෙළේ දමා ගිය පිරිස ගමන් ගත් වෑන් රථය පුත්තලම දුම්රිය හරස් පාර ආසන්නයේදී පෙරළී ගොස් ඇතැයි නොරොච්චෝලේ පොලිසිය කියයි.
මෙම පැහැර ගැනීම අද අලුයම 3.00 පමණ සිදුව ඇති අතර ඉලංතඩිය වෙරෙළට රැගෙන ගොස් පහරදී එහි දමා ගොස් සිටි දෙදරු පියා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.
යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී පැමිණි පස් දෙනකු මෙම පැහැර ගැනීම සිදු කළ බව පැහැර ගැනීමට ලක්වූ දෙදරුපියාගේ බිරිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
පැහැර ගැනීමට යොදාගත් බවට සැකකරන වෑන් රථය පුත්තලම දෙසට ධාවන වන අයුරු දුටු ගම්වාසීන් කුඩා ප්‍රමාණයේ ලොරියකින් එම වෑන් රථය පසුපස ලුහුබැද ගොස් තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නොරචෝලේ පොලීසිය ද දැනුම්වත් කිරීමට එම පිරිස පියවරගෙන ඇත. ඒ සම්බන්ධයෙන් පොලිසිය පාලාවිය - කල්පිටිය මාර්ගයේ දළුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන නාවුක හමුදා පොලිස් ඒකාබද්ධ මුර පොළට සැක සහිත වෑන් රථය සම්බන්ධයෙන් දැණුවත් කිරීමටද කටයුතු කර තිබේ.
එම මාර්ග බාධකය හරහා ධාවනය වූ සැක වෑන් රථය නවතන ලෙස සංඥා කළත් නොනවත්වා ධාවනය කිරීම නිසා පොලිස් නිලධාරියකු පළා යන වෑන් රථය ලුහුබැඳ යද්දී එය වෑන් රථය පාලාවිය ප්‍රාදේශයේදී පෙරළී ගොස් ඇති අතර , එම අවස්ථාවේදී වෑන් රථයේ සිටි පිරිස පලා ගොස් තිබේ.
පෙරළුණු වෑන් රථයේ තිබී යුධ හමුදා ඇදුම් කට්ටල 02 ක්,සපත්තු කුට්ටම් 02 ක්,යුද හමුදා හිස් වැසුමක් සහ මුදල් පසුම්බියක් ද තිබී සොයා ගෙන ඇත. එහි තිබී ජාතික හැදුණුම්පතක් සහ රියදුරු බලපත්‍රයක්ද හමූ වි තිබේ.
ඒ ඔස්සේ පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.

