දෘෂ්‍ය දූෂණය වැළැක්වීමේ රෙගුලාසි මාලාවට ජනපති අත්සන් තබයි


(තිළිණි ද සිල්වා)
 

ඉදිරි මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණය වැළැක්වීමට අදාළ රෙගුලාසි මාලාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇතැයි නීතිපතිවරයා අද (7) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
 
ඒ අනුව එම රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ළගදීම ප‍්‍රකාශයට පත් කරනු ඇතැයිද එහිදී නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියාය.
 
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අනූෂා සමරනායක මහත්මිය මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම අද(07)  සළකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම රිට් පෙත්සම අචල වෙංගප්පුලි අභියාචනාධිකරණ විනිසුරුවරයා හමුවේ අද සළකා බැලිණි.
 
පෙත්සම් කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය කියා සිටියේ අදාළ රෙගුලාසි බලාත්මක වීමට ජනාධිපතිවරයාගේ  අත්සන අවශ්‍යව තිබූ බවත්,  ඒ අනුව ජනාධිපතිවරයා මේවන විටත් සිය අත්සන් යොදා ඇති බවද කියා සිටියාය.
 
මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන 13 වැනි දිනට කල් තබන ලදී.

ඉදිරි මැතිවරණයේදී සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක‍්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , හිටපු පොලිස්පතිවරයෙකු වන ජයන්ත වික‍්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
 
නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
2009 වසරේදී මාසයේදී පෙත්සම්කාර සංවිධානය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කොට , එම පෙත්සමෙන් ඉල්ලා සිටියේ රජයේ පළාත් පාලන ආයතන සඳහා බැනර්, කටවුට් සහ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සහ නිර්ණායකයක් සකස් කර නිර්දේශ කරන රීට් ආඥාවක් නිකුක් කරන ලෙයසි.
 
මෙම පෙත්සම විභාග වන අතරමැද , එනම් 2014 නොවැම්බර් 27 වැනිදා මෙම සැලැස්ම සකස් කර අවසන් බව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව පෙත්සම් විභාගය අවසන් විණි. නමුත් අවිධිමත් ලෙස පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශණය මඟින් සිදුවන දෘශ්‍ය දූෂණය වැලැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් පියවර ගෙන නොමැත.
 
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.එසේ නොවුණහොත් ප‍්‍රධාන නගර මෙම පෝස්ටර් , බැනර් සහ කටවුට් වලන් වැසී පරිසරය දූෂණය වීමත් , ඒ හේතුවෙන් ඒවා ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභා සහ නගර සභාවන්ට මහජන මුදල් වැය කිරීමට සිදුවේ.
 
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , දෘශ්‍ය දූෂණය සම්බන්ධයෙන් රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
 
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ සහ නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්ම මහත්මීහු පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අනූෂා සමරනායක මහත්මිය පෙනී සිටියාය.