දූෂණ චෝදනා පත්වීමක් ජනපති අණින් අවලංගුයි


( +++ ආරියරත්න රණබාහු)

දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැනිව කර තිබූ පත්වීමක් අවලංගු කර ඇත.

ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත්වූ නිලධාරියකුගේ පත්වීම අවලංගු කරන ලෙස එම ආයතනය බාර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ ආයතනයේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබේ.

පසුගිය දෙසැම්බර් 27 වැනිදා මොහු ඉහළ තනතුරකට පත් කරනු ලැබූ නමුත් ඔහු ඉවත් කිරීමේ ලිපිය දෙසැම්බර් 31 වැනිදා යවා ඇත.

අදාළ නිලධාරියා එම තනතුරින් ඉවත් කළ බව ජනාධිපති ලේකම්වරයාට සහ තමාට දැනුම් දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.