දුරගමන් බස් සේවා තවදුරටත් සීමා කරයි


(නිමල කොඩිතුවක්කු)

සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ තවදුරටත් දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

අවශ්‍යතාවය මත අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බස් රථ ධාවනය සඳහා කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා කැඳවුම් ලැබූ අය පමණක් එම බස් රථ වලින් ගමන් කරන බැවින් සාමාන්‍ය ගමන් සඳහා එම බස් රථ සේවා ලබා නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියා සිටියේය.

එසේම දැනට හුදෙකලා කර තිබෙන ප්‍රදේශ අතර බස් රථ ධාවනයේ දී එම හුදෙකලා ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදු නොකරන බවද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍යය ක්‍රමවේදයන්ට යටත්ව පළාත් අතර කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය බස්රථ යෙදවීමට පියවර ගන්නා ලෙසට ප්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.