දුම්රියේ ගැටී මවත් දියණියත් පුත්‍රයාත් මරුට


(යොහාන් භාසුර,ලලිත් නවරත්න සහ හිරාන් ප්‍රියංකර ජයසිහ)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ආරච්චිකට්ටුව සහ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථාන අතර මහයියාව හරස් මාර්ගයේදී යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එකම පවුලේ මව, දියණිය සහ පුත්‍රයා යන තිදෙනා එම ස්ථානයේදීම අද (19) මරණයට පත්වූහ.

ඔවුන් ගමන්ගත් යතුරුපැදිය පස්වරු 2.00 ට පමණ දුම්රියේ ගැටී ඇති බවත් දරුවන් දෙදෙනා අමතර පංතියකට ඇරළවීමට යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇති බවත් පොලිසිය පැවසීය.

එම අනතුරෙන් ආරච්චිකට්ටුව ගඩොල්කැලේ පදිංචි 41 හැවිරිදි ශාලිකා දිල්රුක්‍ෂි වන මව, නව හැවිරිදි සිතුමි සාවින්දි ජයලත් දියණිය සහ හත්හැවිරිදි සසන් මන්තුල ජයලත් පුතු මරණයට පත්ව ඇති බව කී පොලිසිය එම පවුලේ වැඩිමල් දියණියක් පමණක් ඉතිරිව සිටින බව ද පොලිසිය සඳහන් කළේය.  

මරණයට පත්වූ සිතුමි දියණිය 4 වැනි ශ්‍රේණියේ ද, සසන් පුතු 2 වැනි ශ්‍රේණියේ ද, හැළඹවටවන ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය අධ්‍යාපන ලබන බවත් ඔවුන්ගේ පියා එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බවත් පොලිසිය කීය.

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී ආරච්චිකට්ටුව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසුවේ දුම්රිය ධාවනය වුවද හරස් මාර්ගය වසා තිබී නොමැති බවත් එම අවස්ථාවේදී ගේට්ටු ක්‍රියාකරු නොසිටියේ යැයි දැනගන්නට ඇති බවත්ය.

යතුරුපැදිය ධාවනනය කළ මව අවදානයෙන් ධාවනය කළේ නම් අනතුර වළක්වාගැනීමට තිබූණේ යැයි සිද්ධිය දුටුවෝ පවසන බව ද කී පොලිස් නිලධාරියා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බව ද සදඟන් කළේය.