දාගැබක් ඩොසර් කර වගා කිරීමට එරෙහිව පැමිණිල්ලක්


(නිමල් ජයරත්න)
 
මඩකලපුව එරාවුර් පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවඩිවෙම්බු ප්‍රදේශයේ පිහිටා තිබූ අනුරාධපුර යුගයේ විශාලතම දාගැබ ඩොසර් කර මිරිස් ඇතුළු එළවළු වගාකර විනාශ කිරිමට අදාළ බලධාරීන්ට එරෙහිව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව එරාවුර් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා මෙන්ම මෙම ඉඩම ලබාගෙන දාගැබට හානි කර මිරිස් වගා කළ බව කියන කදිර්ගාමර් සිවකුමාර් යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ක්‍රිස්තු වර්ෂ  2-3 සියවස්වල ඉදිකර ඇතැයි කියන මෙම දාගැබ මීටර් 32 ක් පමණ විශ්කම්භයකින් යුතුව ඇති අතර 2017 වර්ෂයේ දී අම්පාර පුරාවිද්‍යා කාර්යාලය මගින් මෙය සොයා ගෙන ඇත.

පරිවාර චෛත්‍ය හතරකින් සමන්විත වූ අනුරාධපුර යුගයේ විශාලම දැගැබ මෙය බව සැළකෙන අතර එහි පේසාවළලු, ගර්භය මෙන්ම බිත්ති ගඩොල් විනාශ කරමින් අක්කර 4 ක් පමණ ප්‍රමාණයක එළවළු වගාකර  තිබේ.