
(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාළිගා පොලීසියේ නිලධාරීන් පිරිසකට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබුණත් දළදා මාළිගාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිසිවෙකුට කෝවිඩ් ආසාදනය වී නැති බවත් දළදා මැඳුරේ දෛනික කටයුතු සුපුරුදු පරිදි සිදු කරන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළසේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙසේ පැවසුයේ අද (18) මාළිගාවේ කාර්ය මණ්ඩල කෝවිඩ් ආසාදනය වී ඇති බව පවසමින් සාවද්‍ය ප්‍රචාරයක් යන බැවින් ඒ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කරමිනි.
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දළදා වහන්සේ උදෙසා කරනු ලබන දෛනික තේවා කටයුතු තේවා බාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය විසින් සිරිත් පරිදි සිදුකරන බවත් සාමාන්‍ය ජනතාවට දළදා මාළිගාව වෙනදා මෙන් විවෘත කර තිබෙන බවත් දියවඩන නිළමේවරයා කීය.
දළදා මාළිගාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇන්ටිජන් පරික්ෂණයට ලක්කළ බවත් කිසිවෙකුටත් කොවිඩ් ආසදනය වී නොමැති බව හෙළිවූ බවත් කී නිලමේවරයා පොලිස් ඒකකයේ නිලධාරීන් පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබුණත් දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාළිගා පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක්කර තිබෙන බවත් අවධාරණය කළේය.
දළදා මාලිගා පොලීසියේ 29 දෙනෙකුට අද (18) වන විට කොවිඩ් ආසාදිත බව තහවුරුව තිබේ. දළදා මාළිගා පොලීසියේ සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීමෙන් පසු මහනුවර පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 185 දෙනෙකු දළදා මාළිගා පොලීසියේ සේවයට යෙදවූ බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.


