දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතුයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හැම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.

ඉගැන්විය යුත්තේ කුමන විෂයන්ද කියා තෝරා ගැනීම කළ යුත්තේ අධ්‍යාපනඥයන් බව කී ජනාධිපතිවරයා  ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව හැදීම බව අවධාරණය කළේය.

දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතු බව කී ජනාධිපතිවරයා රොබෝවරු වගේ දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ සිදු කරන බව කීය.

ආගම්, ඉතිහාසය ආදී ඕනෑම දෙයක් ඉගෙන ගන්නා අතර අවශ්‍ය නම් ඒවායේ පරතෙරට යෑමට නව අධ්‍යාපන ක්‍රමයෙන් ඉඩ ලබා දී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.