(දිනේෂ් උපේන්ද්‍ර)
බාල වයස්කාර පිරිමිදරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළැයි බන්ධනාගාර ගතකර සිටි පොලිස් නිලධාරියා ජූලි මස 8 වැනිදා තෙක් යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද(28) නියම කළාය.
අද එම නඩුව කැඳ වූ අවස්ථාවේදී එසේ නියෝග කෙරිණි.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ සිද්ධිය සම්බන්ධව අදාළ පරීක්‍ෂණ කරමින් පවතින අතර සියලු පරීක්‍ෂණ නිමා වී නොමැති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධව ඩී. එන්. ඒ වාර්තාවක්එ කැඳවීමට අපේක්‍ෂා කරන බව පොලිසිය එහිදී අධිකරණයට කරුණු දැක්වීය.
සැකකරු වෙනුවෙන් කරුණු කී නීතිඥ චම්පික ලසිතකුමාර මහතා කියාසිටියේ පොසොන් පොහොයදින සිද්ධිය වූ බව කියන විහාරස්ථානය බැතිමතුන්ගෙන් පිරීපවතින ස්ථානයක් බැවින් එවන් සිදුවීමකට කිසිදු ඉඩක් නොතිබූ බවයි. එමනිසා එය ගොතා සිදුකළ පැමිණිල්ලක් බව පෙනෙන බව පෙන්වාදුන් ඒ මහතා පරීක්‍ෂණ කිරීමට සාධාරණ කාලයක් පොලිසියට තිබූ බවද පෙන්වා දුන්නේය. තම සේවාදායකයාට ඇප ලබාගැනීම සඳහා එළැඹෙන නඩුවාරයේදී පරීක්‍ෂණ අවසන් කර වාර්තාවක් කැඳවන ලෙසට පොලිසියට නියෝගකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය පරීක්‍ෂණ පිළිබඳ ප‍්‍රගතිය රැගත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැන්වූ අතර වින්ධිත දරුවා පරිවාසයේ ඉල්ලීම මත දෙමාපියන් බාරයේම තබන ලෙස නියම කරමින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් දයාරත්න(58527) මහතා කරුණු කී අතර සැකකාර පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිඥ චම්පික ලසිතකුමාර මහතා පෙනීසිටියේය.

