දඹ රන් බුදු පිළිමයක් සහ භික්ෂූන් වහන්සේ නමක පැහැරගත් 6 ක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

නාරාහේන්පිට නිවසක තිබූ රුපියල් කෝටි 70ක් පමණ වටිනාකමකින් යුත් දඹ රන් බුදු පිළිමයක් සමඟ භික්ෂූන් වහන්සේ නමක ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ පැහැරගෙන ගියැයි කියන සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුලු සැකකරුවෝ හය දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අයි. එන්. එන්. කුමාරගේ මහතා නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හය දෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් (12) වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් විය.

දඹ රන් බුදු පිළිමය සහ සිද්ධියට උපයෝගී කරගත් ඩිෆෙන්ඩර් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවත් ඒවා නඩු භාණ්ඩ වශයෙන් නම් කොට අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන බවත් මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.