දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපති පත්වේ


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත්වේ.

දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93වන සභාපතිවරයා පත්කිරීම මෙන්ම හදුන්වා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ සෝලීස් හෝටලයේ දී පැවැත්විණි.

නව සභාපතිවරයාට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ වත්මන් සභාපතිවරයා වන මහාචාර්ය රුවන් ජයසිංහ මහතා විසින් විශේෂ සභාපති පළඳනාව මෙහි දී පළඳවන ලදී.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ දීර්ඝ ඉතිහාසයක් සහිත මෙරට පැරණිතම, ගෞරවනීය, වෘත්තීය සංගමයක් වන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වන සභාපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට  සහභාගිවීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකන බවයි.