දකුණේ එස්.අයි.යූ බාරයේ තිබූ ආයුධ සේප්පුවට මුද්‍රා තබයි


(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර සිරුරු පුලුස්සාදැමූ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් බාරයේ තිබූ අවි ආයුධ සහිත සේප්පුවට අද (25) මුද්‍රා තැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි දකුණු පලාත් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී සී.වී.සිරිමාන්න මහතාගේ අධීක්ෂණය යටතේ එම මුද්‍රාතැබීම සිදු කළ බව දැනගන්නට ඇත.

විශේෂයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන  ඒකකයේ නිලධාරීන් භාවිතා කළ ටී 56 වර්ගයේ ගිනි අවි හා රිවෝල්වර විශාල ප්‍රමාණයක් අදාල යකඩ සේප්පුවේ ගබඩා කර තිබී ඇති බව කියති.

ඊට මුද්‍රා තැබීමෙන් පසු එම ගිනි අවි සේප්පුවේ ආරක්ෂාවට මාතර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් රාජකාරියේ යෙදවීමට මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව පැය 24 පුරාම ක්‍රියාත්මකවන පරිදි එම විශේෂ ආරක්ෂාව ලබා දී ඇත.  

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන විත් අමානුෂික ලෙස පහර දී ඝාතනය කර සිරුරු පුලුස්සා දැමු බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කර ගෙන ඇති නමුත් එම ඝාතනයට ගිනි අවි යොදා ගත් බවට මෙතෙක් තහවුරු වී නොමැත.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඒ ගැන යම් සැකයක් මතු වුවහොත් අදාල ගිනි අවි වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමේ අදහසින් මෙම මුද්‍රාතැබීම සිදු කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා හා උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක යන අයවලුන් දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

ඊට අමතරව එම ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු බස්නාහිර පළාතට මාරු කර යවා තිබෙන අතර ඉතිරි වී සිටින පොලිස් නිලධාරීන් 10 දෙනාද ඉතා ඉක්මණින් මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන වෙත මාරු කර යවන ලෙස මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා පොලිස්පතිවරයාට දන්වා යවා ඇත.

ඊට අමතරව මෙම ඒකකය භාරව කටයුතු කළ දකුණු පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා මෙම අපරාධය පිලිබඳ මූලික විමර්ශන පැවැත්වෙන අතරතුරදී සේවා අවශ්‍යතාවය මත පොලිස්පතිවරයා විසින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවන ලදී.

වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.