දකුණු ඉන්දියාවේ සුළඟින් ලංකාවේ වායු දූෂණය වැඩි වෙලා


 

(විනීතා එම් ගමගේ සහ ජේ ඒ එල් ජයසිංහ)
 
ඉන්දියාව දෙසින් එන දූෂිත වායු ධාරා රටට ඇතුළුවීම හේතුවෙන් රට පුරා වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැනීමේ මධ්‍යස්ථානය පවසයි.
 
මෙම සුළං ධාරා උතුරු දෙසින් රටට ඇතුළු වන බවත් දකුණු පළාත හැර දිවයිනේ අන් සෑම පළාතක්ම මේ සුළං ධාරා හේතුවෙන් දූෂණයට ලක්ව ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට අද (03) පැවසීය.

වායු ගෝලයේ අංශු ප්‍රමාණය ඉහළ යාම මෙම වායු දූෂණයට හේතු වී ඇතැයි කී ප්‍රේමසිරි මහතා කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් රට පුරා වාහන ගමනාගමනයේ අඩුවක් පවතිද්දීත් මෙසේ වායු දූෂණයක් හට ගැනිමට හේතුව සොයා බැලීමේ දී දකුණු ඉන්දියාව දෙසින් එන සුළං ධාරාවන්හි පවතින දූෂීත තත්ත්වය ඊට හේතු වී ඇතැයි පෙනී ගිය බව ද කියා සිටියේය.

ඉදිරි දින කිහිපය තිස්සේ මෙම තත්ත්වය පවතිනු ඇතැයි ද, සුළං ධාරාවන්හි රටාව වෙනස් වීම සමග මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙම වායු දූෂණ තත්ත්වය කුඩා දරුවන්ට, වයෝවෘද්ධ පුද්ලයන්ට මෙන්ම ගැබිණි මවුවරුන්ට ද, ස්වසන රෝග ඇතුළු යම් යම් නිදන්ගත රෝග පවතින පුද්ගල කාණ්ඩයන්ට හානිකර විය හැකි යැයි ඔහු පෙන්වා දුන්නේය.

මෙකී සෞධ්‍ය ගැටළු අවම කර ගැනීම සඳහා එවැනි පිරිස් නිතර මුව ආවරණ පැළඳී්මත් එළිමහනේ වෙහෙසෙකර කාර්යයන් කිරීම අවම කරගැනීමත් සුදුසු යැයි කී ප්‍රේමසිරි මහතා ස්වසන අපහසුතා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය යැයි ද කීය.