තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ අයකුගේ සිරුරක් හමුවෙයි


(එස්. ඩි.කොඩිකාර )
තියුණු ආයුධයකින් ගෙළට  පහර දී මියගිය  පුද්ගලයකුගේ මළ සිරුරක් අද (26) මොරවක අලපලාදෙණිය ප්‍රදේශයේ ඔහු ජීවත්වන  නිවස ඉදිරිපිට  තිබියදී සොයාගත් බව මොරවක පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ  (41) හැවිරිදි  කොටපොළගේ  සුසන්ත  ප්‍රේමරංජන්  නැමති ඊදඬුකිත ජනපදය ,  අලපාලාදෙනිය ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් පෙදරේරුවකු  බව පොලිසිය කියයි .

  ඝාතනයට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
 
 මරණකරු විවාහක බිරිඳගෙන් මීට වසරකට පහකට පමණ ඉහත දී වෙන්න ඔහුට අයිති නොවන වෙනත් පුද්ගලයකුට අයත්    නිවසක  වාසය කරන බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත .
 
 මරණකරු අද (26) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන දික්කසාද නඩුවකට පෙනී සිටීමට නියමිතව තිබූ බව පොලිසිය පවසයි .
 
 මොරවක මහේස්ත්‍රාත් ශෂිකා  මිතුනආරච්චි  මෙනවිය  සිද්ධිය වූ තැනට පැමිණ ස්ථාන පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහල වෙත යවන ලෙස නියෝග කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් .එල්. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති අශෝක අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීන්  වැඩි දුර පරීක්ෂණ පවත්වයි.