තැපැල් දුම්රියේ නිදන මැදිරි පාලකයා බීමත්ව හසුවේ


(මහින්ද නිශ්ශංක)

කන්කසන්තුරේ සිට කොළඹ බලා ඊයේ  (06) ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරි භාරව සිටි දුම්රිය සේවකයා බීමත්ව සිටියදී අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම දුම්රියේ ප්‍රධාන නියාමකවරයා විසින් අනුරාධපුර දුම්රිය පාලන කාර්යාලයට දැනුම් දීම අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත  .

මේ අවස්ථාවේදී එම දුම්රිය  සේවකයාගේ මුවින් මත්පැන් ගඳ වහනය වී ඇති බවද අනාවරණය වේ  .

පසුව අනුරාධපුර පොලීසියට භාරදීමෙන් අනතුරුව පොලිසිය මගින් එම සේවකයාව අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදුව ඔහු බීමත්ව සිටි බව  තහවුරු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි  .

අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාවේ උප පරීක්ෂක ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සේවකයා මාලිගාවත්ත දුම්රිය අංගනාදිපති කාර්යාලයට අනුයුක්තව සිටින සේවකයෙකු බව ද වාර්තා වේ .

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත  .