(ඩයනා උදයංගනී)
ත‍්‍රිකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප‍්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් වැටලීමට නාවික හමුදා නිලධාරීන් ගිය අවස්ථාවේ ඇති වූ සිද්ධිය වැලි ජාවාරම්කරුවන් විසින් සැලසුම් සහගතව ඇති කළ එකක් බව පෙනී යන්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය
ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව නාවික හමුදාව කන්දල්කාඩු ප‍්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් වැටලීමේ කටයුතුවල ඉකුත් 6 වැනිදා සිට නිරත වූ බව කී මාධ්‍ය ප‍්‍රකාශකවරයා පසුගිය 24, 25 දිනවල එම ප‍්‍රදේශයේ කළ වැටලීම්වලදී අනවසර වැලි ගොඩදැමීම් කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයින් හය දෙනෙක්, වැලි පිරවූ බෝට්ටු හයක් සහ ට‍්‍රක් රථ දෙකක් අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.
නාවික හමුදාව ඊයේ (29) අලුයම වැටලීමකට ගිය අවස්ථාවේදී විශාල පිරිසක් ඔවුන් වටකරගෙන පහරදීමට උත්සාහ කිරීමත්, පසුව ප‍්‍රදේශවාසීන් කුපිත කරවා නාවික හමුදාවට පහරදෙන තත්ත්වයක් ඇතිකරවීමත් වැලි ජාවාරම්කරුවන් විසින් සැලසුම් කරන්නට ඇති බව එම සිදුවීම් සිදුවූ ආකාරයෙන් පෙනී යන්නේ යැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම අවස්ථාවේදී වැලි ගොඩදැමීම්වල නිරතවන්නන් සහ ප‍්‍රදේශවාසීන් 500ක පමණ පිරිසක් නාවික හමුදා නිලධාරීන් වට කර විරෝධය දක්වමින් පහර දී ඇතැයි කී මාධ්‍ය ප‍්‍රකාශකවරයා නාවික හමුදා නිලධාරීන් අහසට දෙවරක් වෙඩි තබා ඇත්තේ එම අවස්ථාවේදී බව ද කීවේය.
තත්ත්වය උණුසුම් වූ අවස්ථාවේදී පොලීසිය හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පවා පැමිණ සිටියදීත් ඔවුන් නාවික හමුදා නිලධාරීන්ට පහර දුන් බව සිද්ධියට අදාළ දර්ශන පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නේ යැයි ද ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.
කුමන තත්ත්වයන් ඇතිවූව ද රට තුළ සිදුවන මෙවැනි ජාවාරම් මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහය ඉදිරියටත් ලබාදෙන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
අතින් පයින් මෙන්ම පොලූ, මුගුරු, ගල් ආදියෙන් කළ පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ නාවික හමුදා නිලධාරීන් 12
දෙනා මේ වන විටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන බව කී මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉන් සිව්දෙනෙකුගේ මුහුණ හා ශරීරයේ ඉහළ කොටස්වලට බරපතල තුවාල සිදුව ඇතැයි ද කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන බව කී ලූතිනන් කමාන්ඩර්වරයා මෙම වැලි ගොඩදැමීමේ ජාවාරම මෙහෙයවන්නන් සොයාගැනීම සඳහා ද පොලීසිය හා ත‍්‍රිවිධ හමුදා බුද්ධි අංශ එක්ව කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.