තහනම් දුම්වැටි සමඟ ගුවන්තොටේදී කතක් ඇතුළු තිදෙනකු මාට්ටු


( ටී.කේ.ජී.කපිල )

රුපියල් හතලිස් පන් ලක්ෂ අසූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්  අද(13 )  අලුයම  අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් පළමු ගුවන් මගියා ගෝනවල  ගල් ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.අනෙක් ගුවන් මගියා බලගොල්ල , අධිකාරීගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි , ඩුබායි හි කම්කරු රැකියාවක නිරත වී සිටි පුද්ගලයෙකි .

ඔවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ  දුම්වැටි 30,580 ක් , සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 එමෙන්ම රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය පිළියන්දල , නාම්පමුණුව ප්‍රදේශයේ පදිංචි , සංචාරක නියෝජිතවරියක ලෙස කටයුතු කරන 32 හැවිරිදි කාන්තාවකි .ඇය ඊයේ(12)  315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ , මෙම විද්‍යුත් දුම්වැටි 455 පමණක්ම තිබීම විශේෂත්වයකි .