තංගල්ල හිටපු නගරාධිපති තවදුරටත් රිමාන්ඩ්


(ආරියදාස කොඩිතුවක්කු)
 
තංගල්ල නගර සභාවේ හිටපු  නගරාධිපති අනිල් සෙල්ලාහැන්නදි මහතා නොවැම්බර් 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත ටිලාන් වරුසවිතාන මහතා අද (06)  නියෝග කළේය.
 
තංගල්ල නගර සභාවට අයත් රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ගිනි නිවීමේ උපකරණ කට්ටලයක් නගර සභාවට බාර නොදීම, 2013 වසරේදී තංගල්ල නගර සභාවේ පෙර පාසලට ලබා දී තිබූ බහුමාධ්‍ය යන්ත්‍රයක් හා එහි තිරය අස්ථානගත කිරීම හිටපු නගරාධිපති වරයාට ඇති චෝදනා වේ.
 
එම චෝදනා සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයා පසුගිය 24 දින තංගල්ල මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. අද (06) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර නගරාධිපතිවරයා යළි බන්ධනාගාර ගතකරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත ටිලාන් වරුසවිතාන මහතා නියෝග කළේය.
 
තංගල්ල මුලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර, පොලිස් සැරයන් (62440) සුමනසිරි යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකාර හිටපු නගරාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා පෙනී සිටියේය.