ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය ව්‍යාපාර රැකෙනවා


(අංජුල මහික වීරරත්න)

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශිය ව්‍යාපාරිකයින් සුරක්ෂිත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

බංකොලොත්භාවයට පත්ව තිබූ ආයතන පවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් නැවත යථා තත්ත්වයට පත්වන බවද අබේවර්ධන මහතා කීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කිසිඳු පාර්ශවයක් අසාධාරණයට ලක්වීමට ඉඩ තබන්නේ නැතැයි ද අබේවර්ධන මහතා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් EPF, ETF ඇතුළු මහජන අරමුදල් වල සාමාජික ශේෂයට කිසිඳු බලපෑමක් එල්ල නොවන බවද වජිර අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා රට බංකොලොත්භාවයෙන් මුදාගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙල පසුගියදා ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කර තිබු අතර ලෝක නායකයින් එම වැඩපිළිවෙල ඇගයීමට ලක් කර තිබූ බවද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

ඩොලර් මිලියන 83000 ක දේශීය සහ විදේශිය ණය කන්දක් තිබෙන අතර මේ ණය කන්ද නිසියාකාරව හැසිරවිය යුතු බවත් ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සහය ලබාදිය යුතු බවත් ජනපති එහිදී ප්‍රකාශ කළ බව අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.

යම් කිසි පාර්ශවයක් මේ ක්‍රියාවලිය සඳහා සහය නොදක්වන්නේ නම් ඔවුන්ට සිදුවන්නේ නැවතත් මහජනයාට බියේ ගෙවල්වල හැංගී ඉන්නැයි ද ඒ නිසා ඉදිරි දින කිහිපය රටට ඉතා වැදගත් දින කිහිපයක් වන අතර දේශපාලන පක්ෂ මෙන්ම රටේ ජනතාවද මේ පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් සිටිය යුතු බව වජිර අබෙිවර්ධන මහතා කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය.