(ඩේලි මිරර්)
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ඇඟලුම් සඳහා 30% ක තීරුබද්ධක් පැනවීමත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය දෙදරායෑමකට ලක් වී ඇත.
මෙරට වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 45% කට වඩා ඇඟලුම් ක්ෂේත්‍රය මත රඳා පවතින බැවින්, ට්‍රම්ප්ගේ මෙම තීරු බදු පැනවීම, ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වූ මරු පහරකි.
ට්‍රම්ප්ගේ මෙම බදු පැනවීමත් සමග, දශක ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව IMF සහ ලෝක බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලද නවලිබරල් නිදහස් වෙළඳාම මත යැපීම හේතුවෙන්, ආර්ථික වශයෙන් අවදානමට ලක්වුණු බව පැහැදිලි යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
විවිධාංගීකරණය වූ උපාය මාර්ග හෝ ආර්ථික ස්වෛරීභාවයක් නොමැති වීම නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙනු ඇති බවට බිය පළ කෙරේ.
භයානක කරුණක් නම්, යුරෝපා සංගමය GSP+ සහනය අවලංගු කළහොත්, ශ්‍රී ලංකාවට නැවත වරක් එම ආර්ථික කඩාවැටීමට මුහුණ දීමට සිදුවීම යැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය.
1970 දශකයේ අගභාගයේ සිට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථිකය ලිබරල්කරණය කළ ප්‍රථම රට බවට පත් විය. 1965 සිට IMF සහ ලෝක බැංකුවේ අඛණ්ඩ බලපෑම් මත, නිදහස් වෙළඳාම, කාර්යක්ෂමතාවය සහ පෞද්ගලික අංශයේ නායකත්වය යන පදනම යටතේ තීරුබදු කපා හැරියේ වෙළඳපල නියාමනය ඉවත් කරමිණි. ප්‍රාග්ධන ගිණුම් විවෘත කෙරුණු අතර, රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණය කෙරුණි.
IMF සහ ලෝක බැංකුවේ උපදෙස් අනුව ශ්‍රී ලංකාව නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් සමෘද්ධිය අර්බුද කීපයකට මුහුණ පෑමට සිදුවී ඇත.
රටේ කර්මාන්ත ශාලා ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොමැති අතර, විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීම, අප රටින් පිටරට යවන භාණ්ඩවලට වඩා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කරන්නේ වෙනත් රටවල සමාගම්වලට අවශ්‍ය ඇඟලුම් වැනි දේවල් කොන්ත්‍රාත් පදනමට නිෂ්පාදනය කර දීම පමණි.
අපනයනය කරන භාණ්ඩ වර්ග බොහොම සීමිතය. වැඩි වශයෙන්ම අපනයනය කරන්නේ තේ, රබර් වැනි අමුද්‍රව්‍යයන්ය.
දිල්මා තේ හැරෙන්නට, ලෝකයේ හෝ අපේ රටේම පවා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ, ශ්‍රී ලංකාවටම අයිති සන්නාම කිසිවක් නොමැති වීම ද අවාසියකි.
පවතින මෙම ආර්ථික ක්‍රමවේදය අපට සමෘද්ධියක් උදා කළේ නැති බව ආර්ථික විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය. අඩු වැටුප් ලබන, ලාභ අඩු නිෂ්පාදන ක්‍රමයකට ශ්‍රී ලංකාව සිර වී ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසය. ශ්‍රී ලංකාවේ අප බටහිර සමාගම්වලට සේවය කරන කම්කරුවන් පමණි. හවුල්කරුවන් හෝ සම මට්ටමේ අය නොවන අතර ප්‍රතිලාභ ලබන්නන්ද නොවන බව පැහැදිලිය.
යුරෝපා සංගමය (EU) විසින් ලබා දෙන GSP+ (Generalised Scheme of Preferences Plus) සහනය සංවර්ධනයට උදව්වක් ලෙස සැලකෙයි.. එසේ වුවත්, ප්‍රායෝගිකව එය භූ දේශපාලනික බලපෑමක් (geopolitical leverage) බවට පත් වී ඇත. ශ්‍රී ලංකාවට යුරෝපා වෙළඳපොළට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ මානව හිමිකම්, යහපාලනය, පරිසර ආරක්ෂාව වැනි ජාත්‍යන්තර සම්මුති 27 කට එකඟ වුවහොත් පමණි.
ඇමෙරිකතාව දැන් පෙන්වා දී ඇත්තේ මෙවැනි වෙළඳ අවසර කිසිදු හේතුවක් නොමැතිව, දේශපාලනිකව, ඒකපාර්ශ්විකව (තනිවම) ඉවත් කළ හැකි බවය. යුරෝපා සංගමයත් GSP+ සහනය ඉවත් කළහොත් අපට එල්ල වන එහි බලපෑම ඉතාම දරුණු වනු ඇත.
ට්‍රම්ප්ගේ තීරුබද්ද තාවකාලික දෙයක් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පැහැදිලි කරති. මෙය එක්තරා ආකාරයකට අපට අප් ඇස් පැදීමට දුන් පණිවුඩයකි. ඊළඟ පණිවිඩය බ්‍රසල්ස් (යුරෝපා සංගමයේ මූලස්ථානය) වලින් පැමිණිය හැක. දැනටමත් යුරෝපා බලධාරීන්හු ශ‍්‍රී ලංකාවට GSP+ සහනයට සුදුසු ද යන්න සාකච්ඡා කරමින් සිටිති.
ශ්‍රී ලංකාවට තවත් බාහිර පහරක් දරා ගැනීමට කිසිසේත්ම සූදානමක් නැත. ඊට හේතුව, අපි අපටම කියා කිසිවක් සාදාගෙන නැති වීමය. විශ්වාසය දිනාගත හැකි, මිල තීරණය කළ හැකි, වෙළඳපොළ කොටසක් හිමි ලෝක ප්‍රකට සන්නාම අපට නැත.
අලුත් නිර්මාණ සදහා හෝ වෙනත් දේ වෙනුවට ආදේශක නිෂ්පාදනය කිරීමට හෝ හැකි අපේම අභ්‍යන්තර නිෂ්පාදන ක්‍රමවේදයන් නැත. IMF හි මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිර්දේශවලට යටත් වීම නිසා අපිට අපේම ප්‍රතිපත්ති හදන්න නිදහසක් නැත. අපගේ අපනයනවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් බටහිර වෙළඳපොළට යයි.
මෙය ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. හේතුව, තීරුබදු වැඩි කිරීම්, GSP+ ඉවත් කිරීම්, හෝ එම කලාපවලින් එල්ල වන දේශපාලන පීඩනයන් හමුවේ අප ආර්ථිකය දුර්වල වීමකට ලක් වන බැවිනි.
GSP+ නැති වුවහොත් සිදුවන්නේ ද ට්‍රම්ප්ගේ තීරුබද්ද නිසා වුණු දේය. කෙසේ නමුත් එහි බලපෑම මීට වඩා වැඩි වනු ඇත.
පරායත්ත ආකෘතියක (dependency model) සැබෑ පිරිවැය මෙයයි. ශ්‍රී ලංකාව නිෂ්පාදන කළත්, සැබෑ අයිතිකරුවෙක් නෙවෙයි. අප නිෂ්පාදනය කළත්, කිසිවක් නිර්මාණය කරන්නේ නැත. අප අපනයනය කරයි, නමුත් කිසිවකට මුල පුරන්නේ නැහැ. ගැටලුව මෙය යැයි විශ්ලේෂකයෝ පැහැදිලි කරති.