ජ’පුර සිසුවාගේ සිදුවීම ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් සරසවියට


(ඉන්දිකා රාමනායක)

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති සාදයක් අතරතුර කිසියම් සිදුවීමකින් පඩිපෙළ දිගේ පැමිණි ට්‍රැක්ටර් රෝදයක් වැදී බිම ඇදවැටී හිසට බරපතල තුවාල සිදුවී සිසුවෙක්  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්   කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන්  නියමයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන්  යුත් කණ්ඩායමක් මේ සඳහා  පත්කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් නිලධාරීන් සිද්ධිය සිදු වූ විශ්ව විද්‍යාලයේ ක්‍රිඩාංගනය  අසලට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර සිසුන් ඇතුළු   12 දෙනකුගෙන් පමණ  සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගත් බව එම පොලිස් නිලධාරියා කීය.

පොලිසිය  එම ස්ථානයට යන අවස්ථාවේ දී ක්‍රීඩාංගනයේ  පඩි පෙළ  මත ඉහත ට්‍රැක්ටර් රෝදය එලෙසින්ම තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ එම පඩි පෙළේ හා අවට කිහිපදෙනකුම රැඳී සිට ඇති බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය වු දින අලුයම 1.30 ට පමණ  පසිදු සිසුවා  ජලය පානය කිරීම සඳහා පඩිපෙළ නැග ක්‍රීඩාගාරය බලා යන අතරේ     මෙම රෝදය ඉහළ සිට පඩිපෙළ දිගේ පැමිණෙනු  එම ස්ථානයේ සිටි කිහිපදෙනකු දැක ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

වෙනත් දිනවල දී  එම  ටයර්  එක උපයෝගි කරගෙන සිසුන්   ක්‍රිඩා කරන බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇති අතර   එදිනත්  කිසිවකු මෙම ටයර් එක පදිමින් සිටියදී එක වර පහළට පැමිණීමෙන් සිදු වූ අහඹු අනතුරක් ද,  නැතහොත්  පසිදු  ඉල්ලක්ක කරගෙනම කිසිවකු  පහළට  ටයරට එව්වේ ද යන්න  හෙළි කර ගැනීමට  පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.

තුවාල ලබා සිටි පසිදු සිසුවා සිද්ධිය වන අවස්ථාවේ මත්පැන් පානය කර නොමැති බව පොලිස් ආරංචි  මාර්ග කියයි.