(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ තේ මිල ජූනි මස මැද භාගයේදී සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
කොළඹ තේ වෙන්දේසියේ ජූනි මස මැද භාගයේදී තේ කිලෝ ග්‍රෑමයක සතියේ සාමාන්‍ය මිල රුපියල් 965 ක් ලෙස වාර්තා වූ බවත් එය මාස 15 කින් තේ කිලෝ ග්‍රෑමයක් සඳහා වාර්තා වූ අඩුම මිල බවත් එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ තේ කිලෝ ග්‍රෑමයකට ඉහළම මිලක් ලැබුණු සැප්තැම්බර් මස සමඟ සසඳන විට එය සියයට 40 ක පමණ මිල පහත යාමක් බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ තේ දළු නිෂ්පාදනය මෙම වසරේ මාර්තු මාසය දක්වා පහත වැටීමක් පෙන්නුම් කළ බවත් පසුව අප්‍රේල් මාසයේදී සියයට 8ක වැඩිවීමක්ද මැයි මාසයේදී සියයට 2 ක වැඩිවීමක්ද වාර්තා කළ බවත් එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
තේ අපනයනයෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමෙන් සියයට 10 ක් වන බවත් 2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල් බිලියන 411 ක අදායමක් තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.
ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් ප්‍රකාශ කර සිටියේ රුපියල ශක්තිමත් වීමත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවන්ට වසන්ත කාලය උදාවී ඇති බැවින් තේ පරිභෝජනය අඩු වීමත් නැවත තේ සැපයුම ඉහළ යාමත් යන කරුණු හේතුවෙන් තේ කිලෝ ග්‍රෑමයක මිල පහල යෑමක් පෙන්නුම් කළත් ජූනි මස මැද භාගයේදී තේ කිලෝ ග්‍රෑමයක් සඳහා වාර්තා වූ යැයි පවසන මිල, තේ කිලෝ ග්‍රෑමයක් සඳහා මාස 15 කින් වාර්තා වූ අඩුම මිල නොවන බව නිසැකයෙන්ම පැවසීමට හැකි බවය.
පසුගිය ඔක්තෝබර් මස තේ කිලෝ ග්‍රෑමයක සඳහා ඉහළ මිලක් ලැබීමට හේතු වූයේ රුපියල අවප්‍රමාණය වීම, තේ සඳහා ඉල්ලුම ඉහල යෑම සහ ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබා දීමට නොහැකි වීම යන කරුණු බව නිරාජ් ද මෙල් මහතා පෙන්වා දුන්නේය.

