ජාතික ආරක්‍ෂාව භාර ආයතන ප‍්‍රතිව්‍යුහගත කළ යුතුයි


(නාලක සංජීව දහනායක)

ජාතික ආරක්‍ෂක කවුන්සිලය ප‍්‍රමුඛ ජාතික ආරක්‍ෂාව භාර ආයතන බිඳ වැටී ඇති බැවින් වහාම ජාතික ආරක්‍ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප‍්‍රතිව්‍යුහගත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (25)  පැවැති සර්ව පාක්‍ෂික සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වේ.

එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවා අන්තනොමතික දණ්ඩනයකට ලක්වී ඇති බැවින් රාජ්‍ය බුද්ධිසේවාවක ඇති අවශ්‍යතාවය තේරුම් ගනිමින් අකර්මන්‍යවී ඇති රාජ්‍ය බුද්ධි සේවාව යළි සක‍්‍රීය කරන ලෙසද එම පෙරමුණ ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා විසින් මෙම යෝජනාවලිය සර්වපාක්‍ෂික සමුළුවට ඉදිරිපත් කර තිබේ. කරුණු එකොලහකින් යුතු එම යෝජනාවලියේ මෙසේද සදහන් වේ.

ජාතික ආරක්‍ෂාව පිළිබඳව උනන්දුවීම සංහිඳියාවට එරෙහිවීමක් යන මතය මහපොළවේ පැළවීමත් සමඟ ජාතික ආරක්‍ෂාව හා සංහිඳියාව අතර ප‍්‍රථිවිරෝධයක් ඇතිවූ බවත් එය ඍජුව හා වක‍්‍රව මෙම මහ විපතට හේතුවක් වූ බැවින් ජාතික ආරක්‍ෂාව කළමණාකරනය කිරීමේ වගකීම නිසි වෘත්තීය හා පරිණත සුදුසු පුද්ගලයන් අතට පත්කළ යුතු බවද සර්ව පාක්‍ෂික සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වේ.

එමෙන්ම මේ වනවිට නිර්මාණයවී ඇති තත්ත්වය පාදක කරගනිමින් මෙරට මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් ඇතිකොට ජාතීන් අතර සමගිය පළුදුකිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකවිය හැකි බැවින් මේ මොහොතේදී සියලුම ජන කොටස්වල ආරක්‍ෂාව තහවුරු කිරීමට රජයේ මූලික අරමුණ විය යුතු බවද එම යෝජනාවලිය මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලීමක් කර තිබේ.