ජයවර්ධනපුර රෝහලේදී සාර්ථක අක්මා බද්ධයක්


(විනීතා එම් ගම‍ගේ)

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකළ බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ප්‍රකාශ කළේය.

37 හැවිරිදි තරුණයකුට මෙම සැත්කම සිදුකළ බවත් සිරෝසිස් රෝගයෙන් පෙළුණු මෙම තැනැත්තාට ඉක්මණින් අක්මා බද්ධයක් සිදුකළ යුතුව තිබු බවත් කී වෛද්‍ය හේවගේ ඉකුත් 30 වැනිදා කළ සැත්කම සියයට සියයක් සාර්ථක බව අද තහවුරු කරගත් බව ද සදහන් කළේය.

මොළය මියගිය 62 හැවිරිදි පුද්ගලයකුගේ අක්මාව රාගම රෝහලේ දී ලබාගත් බවත් එය පැය ‍12කට ආසන්න වේලාවක් ගතවූ සැත්කමක් මගින් බද්ධ කළ බවත් අධ්‍යක්ෂවරයා කීය.

ජ‍යවර්ධනපුර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරු  පිරිසක් මෙම සැත්කම සිදු කළහ.

අක්මා බද්ධය අධික වියදම් සහිත සැත්කමක් වන අතර එය ඉන්දියාවේ දී සිදුකිරීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 120 ක් පමණ වැය වන සැත්කමකි. ජයවර්ධනපුර රෝහලේ දී මෙම පළමු සැත්කම කිසිදු අයකිරීමකින් තොරව නොමිලයේ සිදුකර තිබීම ද විශේෂත්වයකි.