ජපානයට භූමිකම්පාවක්: සුනාමි බියක්


රික්ටර් මාපකයේ ඒකක 7.6 ක් සටහන් කළ ප්‍රබල භූකම්පාවකින් ජපානය කැලැඹිණි. භූමිකම්පාවෙන් පසු ජපානයේ උතුරු වෙරළ තීරයට සුනාමි රළ කඩා වැදුණි.

ජපානයේ ප්‍රධාන හොන්ෂු දූපතේ උතුරු කෙළවර වන අඕමෝරි ප්‍රාන්තයට නැගෙනහිර දෙසින් සහ හොකයිඩෝ දූපතට දකුණු දෙසින් මුහුදේ කිලෝමීටර 50ක් ගැඹුරින් භූමිකම්පාව හට ගත් බව කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ.

භූමි කම්පාවේ ප්‍රබලත්වයත් එය හටගත් ස්ථානයත් සැලකිල්ලට ගනිමින්, සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණේ මීටර් තුනක් පමණ උසැති සුනාමි රළ වෙරළබඩ ප්‍රදේශවලට කඩා වදිනු ඇති බවය.

කෙසේ නමුත් කඩා වැදුණේ සෙන්ටි මීටර් 40 ක් පමණක් වූ සුනාමි රළ යැයි පසුව වාර්තා විය.

එම රළ කඩා වැදුණේ හොකයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ අඕමෝරි ප්‍රාන්තයේ මුත්සු ඔගාවරා වරායටය.

සුනාමියෙන් කිසිවකුටවත් අනතුරු සිදු නොවුණත් භූමිකම්පාවෙන් අනතුරු සිදුවුණු බව වාර්තා විය. අඕමෝරි ප්‍රාන්තයේ හචිනොහේ නගරයේ හෝටල් ගොඩනැගිල්ලකට භූමිකම්පාවෙන් හානි සිදුවී එහි සිටි සිවු දෙනකු තුවාල ලැබූ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

භූමිකම්පාව හටගෙන සුනාමි අනතුරු නිකුත් කළ සැණින් ජපාන අග්‍රාමාත්‍ය සනායි තකායිචි මාධ්‍ය හමුවේ කියා සිටියේ භූමිකම්පාවෙන් සිදුවුණු හානිය තක්සේරු කිරීමට බලධාරීන් යොදවා ඇති බවය.

භූමිකම්පාවෙන් දෙදරා ගිය කලාපයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ද අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටියාය.