ජපානය කනස්සල්ලෙන්


(කැලුම් බණ්ඩාර)

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණසල්ල පළ කළේය.

ශ්‍රී ලංකාවට ජපානයෙන් ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත අනෙක් රටවලින් මෙරටට ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත සමග සංසන්දනය කිරීමේදී ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන්නේ නම් ජපානයෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා පනවනු ලබන බදු අනුපාත පිළිබඳව අනිවාර්යයෙන්ම සාකච්ඡාවට බඳුන් විය යුතු බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් හුදෙක් දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් තිබෙන බව පෙන්වා දීම සඳහා ජපානය ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට සූදානම් නැති බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබී නොමැති බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් යථාර්ථවාදී වනු ඇත්තේ ඉන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පමණක් බවද ඉසොමාටා මහතා පැවැසුවේය.

දේශපාලනමය හෝ සංකේතාත්මක හේතුන් මත නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට ජපානය කිසිසේත් සළකා නොබලනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජපානය ලද අත්දැකීම් බෙදාහදා ගනිමින් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ තීරුබදු ප්‍රකාශයට පත්කළ වහාම පසුගිය අප්‍රේල් 7 වැනිදා ජපාන අගමැතිවරයා ජනපති ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත් එහිදී තීරු බද්ද සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ඒ වෙනුවෙන් අමාත්‍යවරුන් දෙදෙනකු පත්කළ බවත්ය.

ඇමෙරිකාව සමග ජපානයට වෙළෙඳ ගැටලුවක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් ජපානයට මෙය අලුත් අර්බුදයක් නොවන බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මීට පෙර කපු රෙදිපිළි විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කළ 1930 දශකයේදීද මෙවැනිම ගැටළුවක් ඇතිවූ බවත් එහිදී යම් ආකාරයක ස්වේච්ඡා අපනයන සීමාවන් ක්‍රියාත්මක කිරීමට ජපානයට සිදුවූ බවත් ඉසොමාටා මහතා පැවැසුවේය. නැවතත් 1970 දශකයේදීද මෙවැනිම ගැටළුවක් මතුවූ බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.