
(අංජුල මහික වීරරත්න)
ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවැසීය.
2026 වර්ෂයේ දී මෙම සංචිතය නිර්මාණය කරන බවද සභාපතිවරයා කීය.
ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වය හමුවූ අවස්ථාවේ දී වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
නව රජය යටතේ විදේශ රැකියා සඳහා ක්‍රියාත්මක කෙරෙන බඳවාගැනීමේ ක්‍රමවේදයට මේ වන විට විවිධ රටවලින් පැසසුම් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
ලංකාවෙන් ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම හා ජපන් රැකියා ප්‍රවර්ධනය කර ගැනීම ජපන් දූත පිරිසගේ සංචාරයේ අරමුණ වන අතර, ඒ සඳහා ජපානයේ IM Japan ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක කෙන්ගො හොරි (Kengo Horie) මහතා ඇතුළු නිළධාරීහු හා ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම් 18ක නියෝජිතයෝ එක්ව සිටියහ.
මෙහිදී, ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ලාංකිකයින් 5000ක පිරිසක් 2026 වර්ෂය තුලදී නිර්මාණය කිරීමටත්, 1000 ක පමණ පිරිසකට IM Japan ආයතනය හරහා ජපානයට යොමුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙලක් කාර්යාංශය හරහා නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වන බව කාර්යාංශ සභාපතිවරයා සඳහන් කළේය.


