ජනාධිපතිවරණය නිරීක්ෂණයට 7500 ක්


(මොහොමඩ් ආසික්)
 
නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත  ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව කැෆේ සංවිධානය පවසයි.
 
 මෙවර වාර්තාගත වැඩිම අපේක්ෂක   පිරිසක්  ජනාධිපතිවරණයට‌ ඉදිරිපත් වන බැවින් ඇතිවිය හැකි තත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම පිරිස යොදවන බවද එම සංවිධානය කියයි.
 
කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ සෑම මැතිවරණයකම නාම යෝජනා  භාරදීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති බවයි. මේ නිසා මෙවර මැතිවරණයේදී තම ආධාරකරුවන් නිසි පරිදි මෙහෙයවා ගැනීමට අපේක්ෂකයින් ඇතුළු පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව ද ඒ මහතාගේ පවසයි.
 
වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, සහ විපක්ෂ නායකවරයා  යන කිසිවෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ නොකිරීම මෙවර දක්නට ලැබෙන විශේෂත්වයක් බව පෙන්වා දෙන මනාස් මකීන් මහතා වැඩිදුරටත් කියාසිටියේ රාජ්‍ය දේපළ අවභාවිතය ආදී සිදුවීම් වැඩිවශයෙන් අපේක්ෂා කළ හැකි බවයි.
 
කැෆේ සංවිධානය මෙවර අනිකුත් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතරතුර ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම ආදී කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකරන බව  අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය. කැෆේ සංවිධානය මෙම ජනාධිපති මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 7500ක පමණ ප්‍රමාණයක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි යෙදවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා  සඳහන් කරයි.