ජනාධිපති තීරණයට එරෙහි පෙත්සම් දෙක සළකා බැලීම කල්යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත්  කර  ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 07  වැනිදා  සලකා බැලීමට අද (10)  ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
 
දඹර අමිල හිමියන් සහ  ජනාධිපති ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂකයෙකු වන වන ඕෂල හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.


මෙම පෙත්සම් අද (10) බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.


එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.


ඒ අනුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 7 වැනිදා සිදුකරන බවත් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශවකරුවන්ට දන්වා සිටියේය.


පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ඇමති මණ්ඩල සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු  නම් කර තිබේ.


පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ඉකුත් මස 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි.


මේ හේතුවෙන් ජනාධිපතිවරයා ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාර දඹරන් හිමියන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වළක්වාලීමේ අතුරු නියෝගයක් පෙත්සම් විභාගය අවසන් වනතුරු නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.