ජනපතිවරණයේ පෝස්ටර් - බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1661 ක්


(ඉන්දිකා රාමනායක)
 
ජනාධිපතිවරණය වෙනුවෙන්  නීති විරෝධී ලෙස තැන තැන ප‍්‍රදර්ශනය කර ඇති  බැනර් සහ පෝස්ටර් ඉවත් කිරීම සඳහා  පොලිස් ස්ථාන වලට කම්කරුවන් 1661 දෙනෙකු  තාවකාලිකව සෑම පොලිස් ස්ථානයකටම අනියුක්ත කර  ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
 
මූලස්ථාන පොලිස් ස්ථානයකට තිදෙනකු, පොලිස් ස්ථානයකට තිදෙනකු හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමාණාකරන මධ්‍යස්ථානවල පොලිස් ඒකකය වෙත පස් දෙනා බැගින් මෙම තාවකාලික කම්කරුවන් අනියුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම පුද්ගලයන්ගෙන් 1045  මීට පෙර අනියුක්ත කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ පැමිණිලි හා නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි  139 ක්  පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇත. මෙම පැමිණිලි වලින් 84 ක්  නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද, 55 ක්  මැතිවරණ පැමිණිලි වශයෙන් ලැබී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
මෙම සමස්ත පැමිණි 139 ට අදාලව  සැකකරුවන්  55 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.