ජනපතිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්


(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි සිට)

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට  පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (9) දහවල් ඉන්දියාවට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි  රාෂ්ට්‍රපති භවන්හිදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

දිවුරුම් දීමේ උත්සවයට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක  ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ,ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්,ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ෂෙනුකා  සෙනෙවිරත්න මහත්ම මහත්මීන්  විසින් පිළිගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  සම්ප්‍රාප්තියට  ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ  ද මෝදි අගමැතිවරයාගේ ද  රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්,මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද ,සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ  ඇතුළුව 9000ක පමණ පිරිසක්  ආරාධනා ලැබ සිටියහ.

දින 44ක් අදියර හතක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය සමත් වූ අතර එම ජය තහවුරු කර ගැනීමෙන් පසුව  නරේන්ද්‍ර මෝදි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරිණි.

මෙම ඉන්දීය සංචරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න,ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටිති.