ජනපති බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසයි


(අංජුල මහික වීරරත්න)

රටක් ගොඩනැගීමේදී හුදු භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන්නේ යැයිද එම සංවර්ධනය රටේ සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමග ඓන්ද්‍රීයව බැඳී පැවතිය යුතු යැයිද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රටේ සංස්කෘතිය සහ වටිනාකම් සමග අක්මුල් විදාහා ගත් සබඳතාවකින් තොරව, රටක් දියුණු කළ නොහැකි බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ලොව බොහෝ රටවල් දියුණුව අත්පත් කරගෙන ඇත්තේ සිය සංස්කෘතික පදනම මත පිහිටා බව ද පෙන්වා දුන්නේය. එමෙන්ම ජාතීන් අතර සමගිය සහ සහජීවනය ගොඩනැගීමේදී මෙම සංස්කෘතික පදනම ඉතා වදගත් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින බුද්ධශාසන සහ ආගමික කටයුතු අංශය, සංස්කෘතික කටයුතු අංශය සහ ජාතික උරුමයන් අංශය යන ප්‍රධාන අංශ 03 වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 9535.45ක පුනරාවර්තන වියදම් සහ රුපියල් මිලියන 5,401.40ක ප්‍රාග්ධන වියදම් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.