ජනපති- පාකිස්ථාන අගමැති හමුවේ


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී  පැවැත්විණි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්  පාකිස්ථාන අගමැති ශෙබාස් ශරීෆ් මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ශ්‍රී ලංකා - පාකිස්ථාන දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායකයෝ ද්වි-පාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ. 

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය  මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.