(ඉන්දිකා රාමනායක)
පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන්ට පහරදී අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.
අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන් පන්නා දමා සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇති අතර , ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වා ම වූ භූමි ප්‍රදේශයේ සියලු කූඩාරම් ඉවත් කර එම ප්‍රදේශයේ ද අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී ඇතිවූ ගැටුමින් ආරක්ෂක අංශවලින් පහරකෑමට ලක් වූ පිරිසක් රෝහල් ගත කර ඇති අතර නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් දහසකට ආසන්න භට කණ්ඩායමක් අද අළුයම 1.30 ට පමණ අරගල භූමියට ඇතුළු වී අරගලකරුවන්ට පහරදී ඔවුන් එම ස්ථානයෙන් පලවා හැර ඇතැයි වාර්තා වෙයි.
මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර එහිදී අරගලකරුවන් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි .
ගාලුමෝදරට පිවිසෙන මාර්ග සියල්ලම පිටස්තර පුද්ගලයන්ට ඇතුළුවීමට නොහැකි වන අයුරින් වසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මේ හේතුව නිසා අරගලකරුවගේ සහයට කිසිවකුටත් ගාලුමෝදර දක්වා ගමන් කිරීමට නොහැකි විය.
මෙම ගැටුම් අතරතුර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් ද ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා සිටි අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වී ඇතැයි ද වාර්තා වේ.
කිසිදු දැනුම්දීමක් නොමැතිව පැමිණි හමුදා සහ පොලිස් කණ්ඩායම් අරගලකරුවන්ට පන්න පන්නා පහර දුන් බවට අරගලකරුවෝ චෝදනා කළහ .
පිරසට පහර දෙන ආකාරය අරගලකරුවන් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත ද මුදා හැර ඇත.
-------------------------------------------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 6.15
ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අත්පත් කරගෙන සිටි පිරිස අද අලුයම සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
එහිදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නවදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත
(ඡායාරූප ඉන්දිකා රාමනායක)