චීන ජනපතිට උණුසුම් පිළිගැනීමක්


දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ (8) උතුරු කොරියාවට පැමිණියේය.
 
උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජයෙන් චීන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. චීන ජනාධිපතිවරයා මෙසේ අසල්වැසි උතුරු කොරියාවේ නිල සංචාරයකට පැමිණියේ වසර 7 කට පසුවය.
 
චීනය යනු උතුරු කොරියාවේ ප්‍රධාන ආර්ථික හා දේශපාලන හවුල්කරුවෙකි. උතුරු කොරියාවේ, හිතුවක්කාර න්‍යෂ්ටික අවි වැඩසටහන සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් එම රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් දැඩි සම්බාධක පනවා ඇත.
 
චීනය සහ උතුරු කොරියාව අතර කිලෝමීටර් 1,400ක් දිගු දේශසීමාවක් පවතින අතර, දෙරට අතර ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කර තිබේ. චීනය වෙනත් කිසිදු රටක් සමඟ මෙවැනි ආරක්ෂක ගිවිසුමකට එළඹ නැත. එමඟින් දෙරටින් කිනම් හෝ රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත් අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීම සහතික කෙරේ මෙම වසර සනිටුහන් කරන්නේ එම ආරක්ෂක ගිවිසුමේ 65 වැනි සංවත්සරයයි.