
(ක.ග.කරුණාරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ විසූ ගෝනෙකුගේ මස් නීතිවිරෝධීව ළඟ තබාගෙන පිසීමට සූදානම් කරමින් සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, අදාළ චෝදනාවට වරද පිළිගත් පසු රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද(27) ඇයට නියෝග කළාය.
මෙසේ දඩ නියම වූයේ දෙහිඅත්තකණ්ඩිය, සූරියපොකුණ, අංක 20 ලිපිනයේ පදිංචි දෑහිංගලගේ ඥාණවතී යන අයටය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ විසූ දැඩි ආරක්‍ෂිත ක්ෂීරපායි සතෙකු වන ගෝනෙකුගේ මස් කිලෝවක් සමඟ සැකකාරිය අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු අධිකරණයට පැවසූහ.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කොටසේ වනජීවී නිලධාරීන් විසින් මෙම වැටලීම කරන ලදී. වනජීවි අඩවි ආරක්‍ෂක ඩබ්. ඩබ්. ජී. වීරසේන මහතා පැමිණිල්ල මෙහෙයවීය.

