ගෝඨාභය පුරවැසි බව අත්හළ බවට වන ලේඛන මාධ්‍යයට


(මුදිතා දයානන්ද)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසි බව අත්හැර ඇති බවට වන ලේඛනය පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (30) මාධ්‍ය වෙත නිකුත් කළේය.

ගෝඨාභය මහතා ඇමෙරිකානු පුරවැසියෙකුව සිටියදී ලංකාවේ ද්විත්ව පුරවැසි බව ලබාදීමේ සහතිකයද එහිදි ඉදිරිපත් කරනු ලැබිණ.

ඔහු මෙම ලේඛන ඉදිරිපත් කරනු ලැබුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී වන අතර ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ අනුදැනුම උපදෙස් මත රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ දෙන්නෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙක් නොවන බවට නඩුවක් පවරා ඇති බැවින් එයට පදනමක් නැති බව පෙන්වීමට ගෝඨාභය මහතාගේ ඉල්ලීම පරිදි මෙම ලේඛන මාධ්‍ය වෙත නිකුත් කරන බවද ගම්මන්පිල මහතා පැවසීය.

2003දි ඔහු ඇමෙරිකාවේ පුරවැසි බව ලබාගන්නා විට මෙරට පුරවැසි බව අත්හැරීමට සිදුවූ බවද 2005 නොවැම්බර් 21 වෙනිදා නැවත ද්විත්ව පුරවැසියෙකු ලෙස මෙරට පුරවැසි බව ලබාගත් බවද ඔහු පැවසීය.

ඒ වන විට නව ආණ්ඩුවේ ඇමතිවරු දිව්රුම් දි නොතිබූ නිසා සියලූ අමාත්‍යංශවලට වගකියනු ලැබුවේ ජනාධිපති වන බවද ඒ අනුව එම අමාත්‍යංශවල ලේකම් බවට පත්වන්නේ ජනාධිපති ලේකම් බවද මෙම ලේඛනයට අතිරේක ලේකම් අත්සන් කරනු ලැබුවේ ලේකම් වෙනුවෙන් බවද ඒ අනුව මෙම ලේඛනය නීත්‍යානුකූල ලේඛනයක් බවද ඔහු පැවසීය.

මේ ලේඛනයට අනුව ගෝඨාභය මහතා 2005 නොවැම්බර් 21 වෙනිදා සිට මෙරට පුරවැසියෙකු වන අතර 2019 මැයි 03 වෙනිදා ඇමෙරිකානු රජයෙන් ඔහුගේ එරට පුරවැසිබව අහිමිවීමේ සහතිකය නිකුත් කර ඇති බවට මෙම ලේඛන සාක්ෂි දරන බවද ගම්මන්පිල මහතා තවදුරටත් පැවසීය.

මෙලෙස ගෝඨාභය මහතාගේ පුරවැසිකම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරමින් අධිකරණයේ නඩු පවරමින් ජනතාගේ විශ්වාසය බිඳ වැට්ටවීමට ප‍්‍රතිවාදි කණ්ඩායම් උත්සාහ කළත් ඒවා පුස්සක් වන බවද ඔහු පැවසීය.