ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව අගෝ. 30 දාට කල්යයි


( තිළිණි ද සිල්වා )

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු ඇති ප‍්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීම ලබන අගෝස්තු 30 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය.

ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට අවසර ලබාදීම මඟින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් තමන්ට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) කැඳවූ අතර පෙත්සම් විභාගය අවසන් කරමින් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

එතෙක් මෙම සිද්ධිය පිළිබඳ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළකාලමින් දැනට නිකුත් කර ඇති අතුරු නියෝගය ද  ලබන අගෝස්තු 30 දක්වා දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය නියෝග කෙරිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පසුගිය රජය සමයේ ගාලූ වරායේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමින් කියා සිටින්නේ එම නඩුව පවරා ඇති ආකාරය නීතිවිරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප‍්‍රතික්ෂේප කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටී.

මේ හේතුවෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීතිවිරෝධී බවට ප‍්‍රකාශ කර ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීම ගත් තීරණය අහෝසි කර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා ඇත.