( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 7කට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම මේ මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කළේය.
මෙම පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා තමන්ට නොතීසි නොලැබුණු බව පැවසීය.
එහෙත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ තමන් නොතීසි නිකුත් කළ බවයි. එය කූරියර් තැපෑල ඔස්සේ වගඋත්තරකරුවන්ට යැවූ බවද ජනාධිපති නීතීඥවරයා කියා සිටියේය.
ඒ අනුව නීතීපතිට යළි නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අධිකරණය පෙත්සම මෙම මස 26 දින සලකා බැලීමට දින නියම කළේය.
මෙම පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන්, එම්. එස්. කේ. බී. විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සහන් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා විභාගයට ගැනීමට ස්ථර ත්‍රී පුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට පෙත්සම්කරු විරෝධතාවයක් මතු කළේය. එම විරෝධතාව සලකා බලා එය ප්‍රතික්ෂේප කෙරිණි. මෙය නීතියට පටහැනි වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශිත නියෝගය බලරහිත කරන ලෙසද , මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

