ඇමෙරිකාවේ ඩෙන්වර් නුවර සිට මියාමි නුවර තෙක් පියාසර කිරීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගත්තේය. ඒ ගුවන් යානය ඩෙන්වර් නුවර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වෙද්දීය.
පාලන මැදිරියේ උපදෙස් අනුව, ගුවන් ගමන වහා අවලංගු කළ බවත්, ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිතව යානයෙන් පිටතට ගත් බවත් පැවැසෙයි.
යානයේ මගීන් 173 දෙනකු සිටි අතර කලබලයෙන් පිටවෙද්දී 6 දෙනකු සුළු තුවාල ලැබූ බව පැවැසෙයි.
ගිනි ගැනීම සිදුවූයේ ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 වර්ගයේ ගුවන් යානයකි. ගිනි ගැනීම සිදුවූයේ ගුවන් යානයේ ලෑන්ඩින් ගියරය (රෝද) ආශ්‍රිතව යැයි පැවැසෙයි. ගිනි ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව ගුවන් ගමන් පාලන අධිකාරිය පවසා ඇත.