ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි


(කටුනායක ටී.කේ.ජී කපිල)

ශ්‍රී ලන්කන් සහ මෙරට පෞද්ගලික ගුවන්  සමාගමක් වන ෆිට්ස් එයාර් ගුවන් සේවයට විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ  පිහිටි ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති ගුවන් සේවා ක්ෂෙත්‍රය පිළිබඳව පාසල් දරුදැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ජයකාන්ත මහතා මෙසේ ද පැවැසීය.

ශ්‍රී  ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්සහ ගුවන් නියමුවන්  මේ වන විට වැල නොකැඩී විදේශ ගත වෙනවා. එයට හේතුව විදේශ ගුවන් සේවා සමාගම් ඉහළ වැටුප් ගෙවීමයි. එම වැටුප අපේ වැටුප වගේ පස් හය ගුණයකටත් වැඩියි. ඒ නිසා  එම ගුවන් සේවා වෙත අපගේ ගුවන් නියමුවන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය, සියලු කටයුතු පොදුවේ එකම ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපේ නියමුවන්ට  තවත් රටක වැඩ කිරීම අපහසු නෑ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන තනතුරු අටක් හිස් ඒ සඳහා පුවත්පත් ඔස්සේ දැනුවත් කළත් එම තනතුරු සඳහා අව්‍ය සුදුසුකම් සහිත කිසිදු අයකු මෙතෙක් හමු වී නෑ.  එම නිසා මෙම වසර තුළදී එම තනතුරු පුරවන්න අවස්ථාව නෑ.