ගුවන් පාලකවරුන් තවත් 50ක් බඳවා ගන්න යයි


(සුජිත් හේවාජුලිගේ)

ගුවන් ගමන් පාලක වරුන් තවත් පනස් දෙනකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙස වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  ගුවන් තොටුපොළ  හා ගුවන්සේවා සමගමේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

ගුවන් ගමන් පාලක වරුන් රට අතහැර යෑම නිසා එම ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ රත්මලානේ පිහිටි සිවිල් ගුවන්සේවා පුහුණු පාසලට පැමිණි අවස්ථාවේදීය.

මෙම පුහුණු කටයුතුවලදී එක් පාලකවරයකු සඳහා දළ  වශයෙන් රුපියල් ලක්ෂ 50 ක  පමණ මුදලක්  රජය වැයකරන බවත්,  පුහුණුව අවසන් කර රටහැර ගියහොත් එය රටට දරාගත නොහැකි පාඩුවක් බවත් අමාත්‍යවරයා කීවේය.

එසේම ඒ හේතුවෙන් ගුවන් සේවය කඩාවැටීමක්ද සිදුවිය හැකි බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එබැවින් පුහුණුව නිමකර සේවයට බඳවා ගන්නා  ගුවන් ගමන් පාලකවරයකුගෙන් රුපියල් කෝටියක  ඇපකරයකට හා වසර 10 ක සේවා කාලයකට යටත්ව බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.