ගුරුවරිය දුෂණය කර මුදල්-අබරණ කොල්ල කා පලා යයි


(ඩී.ජී.සුගගතපාල)

අක්මිමන ඉහළගොඩ ප්‍රදේශයේ නිවසකට අද (10) යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු නිවසේ සිටි 55 හැවිරිදි ගුරුවරියක් දූෂණය කර රන් ආභරණ සහ මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනා නිවස කුලියට ගැනීමට බව පවසා නිවසට ඇතුළු වී පරික්ෂා කරන මුවාවෙන් නිවස තුළ රැඳී සිට ගුරුවරිය දුෂණය කර නිවසේ තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.

එම අවස්ථාවේ ඇය පමණක් නිවසේ සිට ඇති අතර පසුව පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව පොලිසිය ගොස් කාන්තාව රෝහල් ගත කර තිබේ.

කොල්ලකරුවන් කොල්ලකන ලද දේපලවල වටිනාකම මෙතෙක් ලබාදී නොමැති අතර ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකිව සිටින බවත් පොලිසිය පවසයි.

අක්මිමන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල රංජිත් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරුවන් අතඅඩංගුවට ගැනිම සඳහා පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.