ගුරු සංගමයෙන් රතු එළියක්



 
(දයාරත්න ඇඹෝගම)
 
‘මේ මාසයේ 20 වැනි දින ගුරු වැටුප් සමග අතුරු දීමනාව ගෙවීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් මාර්තු මාසයේදී දැවැන්ත වැඩ වර්ජනයකට යන්න සියලු ගුරු හා විදුහල්පති සංගම් තීරණය කෙරුවා’ යි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
 
අනුරාධපුරයේදි අද(08) පැවති මාධ්‍ය හමුවකදී  ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.
 
වර්ෂ 1997 සිට ඇතිකරන ලද  මෙම අසාධාරණය ගැන විවිධ අවස්ථාවල රජය බොරු පොරොන්දු  දුන්නා. වත්මන් රජය බලයට පැමිණි පසු ඉදිරිපත් කරන පළමු අයවැය මගින් මේ සඳහා  විසඳුම් දෙන බවට පොරොන්දු වෙලා ඡන්දය ලබා ගත්තා.අවස්ථා කිපයක දි මේ රජයේ ඇමතිවරු වන  ඩලස් අලහපෙරුම, මහාචාර්ය ජී.ඇල්.පීරිස්  යන අය  පාර්ලිමේන්තුවේදි පවා පොරොන්දු වුණා වැටුප් විෂමතා ඉවත්කරන තෙක් ජනවාරි මාසයේ සිට අතුරු දීමනාවක් ලබා දෙන බව. එය රැවටිමක්. කොවිඩ්-19 වසංගතය හමුවේ  අප නිහඬව සිටියා.
 
නමුත් තවදුරටත්  ගුරුවරුන් රැවටීමට ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ. තවදුරටත් රැවටීමට ගුරුවරුන්  සුදානම්  නැහැ.ඒනිසා මේවන විට සියලු ගුරු සංගම් ඒකමතිකව තීරණය කර තිබෙනවා මෙම ගැටළුව විසඳීමට 20 දා දක්වා රජයට කල් දෙන්න. ඒ අනුව පෙබරවාරි වැටුප සමග අතුරු දීමනාව ලබා නොදුන හොත් මාර්තු මාසයේ දැවැන්තම වැඩ වර්ජනය ආරම්භ කරනවා.
 
මේ වන විට අප  ඒ සඳහා ගුරුවරුන් දැනුවත්කරමින් ඔවුන්  සංවිධානය කිරීම ආරම්භ කළා.  එහි පළමු පියවර ලෙස මෙම මාසයේ සිට දිස්ත්‍රික් මට්ටමෙන් දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කරනවා. එහි පළමු උද්ඝෝෂණය මෙම මාසයේ 24 වන දින අනුරාධපුරයේදී කරන බවද ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙහිදි පැවසීය.
 
මෙම මාධ්‍ය හමුව සදහා ලංකා ගුරු සංගමයේ විදුහල්පතිවරුන්ගේ සංගමයේ සංවිධායක ආනන්ද හෙට්ටිආරච්චි, කලාප නියෝජිත නිමල් සෙනෙවිරත්න හා දිස්ත්‍රික් සංවිධායක ප්‍රසන්න සිරිසේන යන මහත්වරු ද එක්ව සිටියහ.