(මුදිතා දයානන්ද)
වැටුප් විෂමතා ඉවත් කිරීම, විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පතිවරු මෙම මස 16 වැනිදා සිට දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (09) පැවසීය.
මීට පෙර දින පහක වැඩ වර්ජනයක් කරන බව දැනුම් දී තිබුණද 19 වැනිදා මහමැතිවරණයේ නාම යෝජනා භාර දෙන අවසන් දිනය වන අතර එදින රජයෙන් පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කෙරෙන බැවින් තම වර්ජනය දින තුනකට සීමා කිරීමට තිරණය කළ බවද ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුයේ කොල්ලුපිටිය සී.එම්.යූ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදීය.
ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සමඟ ඒකාබද්ධව සිටින බවද ජයසිංහ මහතා එහිදී පැවසීය.
මෙම ඉල්ලිම් මුල් කර ගනිමින් පසුගිය 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අතර පසුගිය 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කළ බවත් එයින් පසුවද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් තමන්ගේ අයිතින් දිනා ගැනීම සඳහා පෙර දැනුම් දුන් පරිදි වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ජයසිංහ මහතා පැවසීය.
ඒ අනුව ගුරු විදුහල්පතිවරු මෙම දින තුනේදි නොදන්වා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු පැවසීය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමේදී වර්ජකයින්ට මුහුණ දීමට සිදුවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් පෙනි සිටීමට සියලු වෘත්තිය සමිති නායකයින් සූදානම් බවත් ඒ හේතුවෙන් බොරු ප්‍රචාරවලට යට නොවී වර්ජනයට සහභාගි වන ලෙස සියලු ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ජයසිංහ මහතා එහිදී පැවසීය.
ලංකා ගුරුසේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරුසංගමය, විදුහල්පති සේවා සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, වතු ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ගුරු විමුක්ති පෙරමුණ, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, නැගෙනහිර පළාත් ද්‍රවිඩ ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව ඇති බව ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

