ගැටලාව වැවෙන් තවත් උණ්ඩ හමුවේ


(බී. ජී. චතුරංග,උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)

ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබි ස්වංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා උණ්ඩ තවත්ක 3000 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි.

කුඹුරට ගොස් ආපසු එමින් සිටි ගොවියකු කකුල සේදීම සඳහා ගැටලාව වැවට බැසිද්දි ජලයේ තිබූ උණ්ඩ කිහිපයක් දැක තිබූ අතර, මේ පිළිබඳව (119) පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වූ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්. එම්. එම්. ඩී. එන්. චතුරංග මුරමුදලි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂාවකදී, පතුරම් 5,038 (පන්දහස් තිස් අටක්) ප්‍රමාණයක් හමු වූ බව පොලිසිය සදහන් කළේය.

විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ස්ථානයේ තවදුරටත් පරීක්ෂා කිරීමේදී මැගසින් 11ක් , උණ්ඩ 3150 (තුන්දහස් එකසිය පනහක්) සොයා ගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

එම උණ්ඩ තොගය කවුරුන් විසින් ගැටලාව වැවට මුදා හැරියේද යන්න සහ යම් අපරාධ ක්‍රියාවකට ගෙනාවේද යන්න දැන ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.