ගාල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් බස්නාහිර 425කට එන්නත් දීලා


(ඩී.ජී සුගතපාල)

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේදි ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 632 දෙනාගෙන් 425 දෙනකුම බස්නාහිර පළාතෙන් පැමිණි අය බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ගාල්ල පොලීසියට ලබා දුන් නාම ලේඛනයේ සඳහන් වන බව වාර්තා වෙයි.

ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ගාල්ල පොලිසීයට මෙම නාමලේඛනය ලබා දී තිබේ.

එන්නත ලබාගත් සෙසු පිරිස අතර ද අනෙක් පිරිස අතර නුවරඑළියේ සිට පැමිණි අයෙක්, මහනුවර සිට පැමිණි අයෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් පැමිණි නව දෙනෙක්, ඇල්පිටියේ පදිංචි 27 දෙනෙක්, ගාල්ලේ 90 දෙනෙක් මෙන්ම පොලිස් නිලධාරිහු 79ක් වෙති.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේදී ඉකුත 5 සහ 7 දිනයන්හි සිදුකෙරුණු අතර ඉන් එන්නත් ලබාගැනීමට බස්නාහිර පළාතේ සිට දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ සංචරණ සීමා ද කඩ කරමින් විශාල පිරිසක් වාහනවලින් පැමිණ සිටි බවට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් එන්නත් කරනලද පුද්ගලයන්ගේ නාම ලේඛනය සහ එම ස්ථානයේ සි.සී.ටී.වී.දර්ශණ ලබාදෙන ලෙසට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාටත් ලැබුණු සහ බෙදා හරින ලද එන්නත් ප්‍රමාණය හා ඉතිරි එන්නත් ප්‍රමාණයද පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසට උණවටුන ඖෂධ ගබඩා පාලකවරයාටත් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි.