ගම්මන්පිලට ජූලි 11 ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි


(තිළිණි ද සිල්වා)

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ජනාධිපති කොමිසමට ගොනු කළ පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක සහ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට ජූලි 11 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අද ( 27) සිතාසි නිකුත් කරනු ලැබ ඇත.

වත්මන් රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් මෙම සිතාසි නිකුත් කරන ලදී.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනු කළ එම පැමිණිල්ල අද  එම කොමිසම හමුවේ කැඳවූ අතර එහිදී කෙටි සාක්කියක් ලබා දීම සඳහා තීනියාවල පාලිත හිමියෝ එම කොමිසම හමුවේ පෙනී සිටියහ.

එහිදී සාක්කි දුන් පාලිත හිමියන් කියා සිටියේ රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා රජයේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගනිමින් සිදු කළ ආකරය ගැන තමන්ට වඩා වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා දන්නා බවය.

ගම්මන්පිල මහතා සතුව ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තා පවතින්නේ යැයිද උන්වහන්සේ කොමිසම හමුවේ පවසා ඇත.

එම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසමේ පොලිස් ඒකකයට ජූලි 04 වැනිදා පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසත්, සාක්කි ලබා දීමට ලබන ජූලි 11 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් දන්වමින් සිතාසි නිකුත් කරන ලදී.

විදේශීය රටවලින් මුස්ලිම් ජනතාව ගෙන්වා මුස්ලිම් ග‍්‍රාමනිලධාරීන් ලවා ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර ඒවා ඡන්ද නාමලේඛන වලට ඇතුළත් කර ඇතැයි කියමින්  හා ඔහු සතුව මන්නාරමේ ඉඩම් අක්කර 3000ක් පවතින බවට වත්කම් බැරකම් ප‍්‍රකාශ වලින් හෙළි වීම සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම හරහා නිසි පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලා පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පැවැත්වීම එම පැමිණිල්ල ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලය මීට පෙර තීරණය කෙරිණි.

තවද මහ පරිමාණ ජාතික ව්‍යවසනයකට මුල් වූ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අවිශ්වාසය ගොඩ නැගීමට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කටයුතු කර ඇතැයිද තීනියාවල පාලිත හිමියන් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විණි.