ගම්මන්පිලගේ නඩුව ජුලි 5 වැනි දා යළි කැඳවයි


(මනෝප‍්‍රිය ගුණසේකර)

 

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 5 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියම කළේය.

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටී.

1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයි ද චෝදනා හතරක් යටතේ තවත් නඩුවක් පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් විසි එක් දෙනෙකු සහ ලේඛන 13 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම නඩුවෙන් උදය ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති  ක්ලැරි  පෙරේරා ජයසිංහ හෙවත් සිඞ්නි ජයසිංහ මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා නගා ඇත.