ගම්පහට දැඩි ගංවතුර අවදානමක්


(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයෙහි මහ ගංවතුර තත්ත්වයක් ඇතිවන මීටර් 5 • 5 ඉක්මවා මේ වනවිට මීටර් 5 • 96 ක මට්ටමකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද සවස 3 වන විට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාලකයෙහි ජල මට්ටම මීටර් 5 • 96 සටහන්ව තිබී ඇත.

පවතින අධික වර්ෂා සහිත තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ, අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ගම්පහ, අත්තනගල්ල සහ ජාඇල යන නගරවලට ගංවතුර බලපෑම ඇතිව පීඩාවක් ඇතිවිය හැකි බැවින් වෙළඳුන් සහ පදිංචිකරුවන් අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැදිය යුතු යුතුවඇති බවය.

තවද කැලණි ගගෙහිද ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ්‍රිතව සහ පහත්බිම්වල වෙසෙන ජනතාව මෙන්ම බියගම, දොම්පෙ සහ කැලණිය ඇතුලූ අවට පදිංචිකරුවන්ද ආරක්ෂිත ස්ථාන වෙත යාමේ දැඩි අවශ්‍යතාවය පවතින බවය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ අදාල රාජ්‍ය නිලධාරීන් පියවර ගනිමින් සිටින බවද දිසාපතිවරයා කීය.

අද සවස වන විට අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය පිටාර ගැලීමෙන් ගම්පහ අවට මිරිස්වත්ත - ගම්පහ මාර්ගය, ගම්පහ - ඔරුතොට, ගම්පහ - ජාඇල සහ ගම්පහ - ගණේමුල්ල යන මාර්ග ස්ථාන කිහිපයකින්ම යටව පැවතීම මත රථවාහන ගමනා ගමනයට බාධා සිදුව තිබෙන අතර අද රාත්‍රීයේ තද වර්ෂාවක් ඇතිවුවහොත් ගම්පහ නගරයටද බලපෑමක් සිදු විය හැකි බවට අවට පදිංචිකරුවන්ද අදහස් කරති.

මේ අතර යක්කල - ගම්පහ මාර්ගයේ ඉදිගොල්ල ප්‍රදේශයේ විදුලි කනු දෙකක් කඩා වැටීම හේතුවෙන් යක්කල අවට ප්‍රදේශ කිහිපයකටම විදුලිය ඇනහිට ඇත.